Bit torrent ප්‍රොටෝකෝලය || About Bit torrent ( Part 2 )



මෙහිදී මුලින්ම සොයා ගනු ලබන්නේ ඉල්ලා සිටින ෆයිල් එක තිබෙන, දැනටමත් ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් ක්‍රියාත්මකව ඉන්ටනෙට් සමග සම්බන්ධ වී තිබෙන පරිගණක මොනවාද කියාය. එවිට මේ ඉල්ලා සිටින ෆයිල් එක සම්පූර්ණයෙන්ම ඩවුන්ලෝඩ් වී තිබෙන පරිගණක එකක්වත් අඩුම තරමින් තිබිය යුතුය. කීපයක් තිබුණොත් වඩා හොඳය. සීඩ් (seed) කියා හඳුන්වන්නේ මේ පරිගණකයි. ඒ සමගම දැනටමත් මේ ෆයිල් එකම ඉල්ලා සිටි නමුත් තවමත් එය ඩවුන්ලෝඩ් වෙමින් පවතින පරිගණකද ලොව කොතැනකින් හෝ හමුවේ. ඒවායින් අප්ලෝඩ්වීම්ද සිදුවෙමින් තිබේ. ස්වාම් (swarm) කියා හඳුන්වන්නේ දහස් ගණනක් වන මේ පරිගණක රොත්තයි. ස්වාම් එකට අයත් පරිගණක වල තමන් ඉල්ලා සිටි ටොරන්ට් ෆයිල් එක ඩවුන්ලෝඩ් වී තිබෙන්නේ විවිධ ප්‍රතිශත වලිනි. එහෙත් සෑම පරිගණකයක්ම අන්‍යෝන්‍ය වශයෙන් අනෙක් පරිගණක වෙතද තමන් ලඟ ඇති ෆයිල් කොටස් ලබා දෙයි. එනම් අප්ලෝඩ් කෙරේ.
බිට්ටොරන්ට් ප්‍රොටෝකෝලයේ විශේෂත්වය මෙයයි. එනම් අපට අවශ්‍ය ගොනුවේ විවිධ කොටස් ඇති තැන් සොයා ඒ තැන් වලින් එම කොටස් ඩවුන්ලෝඩ් කොට සම්පූර්ණ ගොනුව තනා දීමයි. මෙහිදී ඕනෑම විශාල ගොනුවක් 64KB සිට 4MB දක්වා වන ප්‍රමාණයේ කොටස් වලට කඩා ඩවුන්ලෝඩ් කෙරේ. මුලින්ම ඩවුන්ලෝඩ් කෙරෙන්නේ ගොනුවේ විරල කොටස්ය. බහුල කොටස් අවසානයට තබාගනී. මෙනිසා සම්පූර්ණ ඩවුන්ලෝඩ් වීමක් සහතික කෙරේ. ස්වාම් එකෙන් මෙසේ අවශ්‍ය කොටස් සොයා ඒවා එකලස් කොට දීමේ කටයුතු මෙහෙයවන්නේ ට්‍රැකර් පරිගණකය විසිනි. ටොරන්ට් ප්‍රොටෝකෝලය ක්‍රියාත්මක වීමේදී ලීචිං කිරීමට කවුරුත් පෙළඹෙන්නේ නැති ගුණාංගයක්ද ප්‍රොටෝකෝලයට උපතින්ම හිමිව තිබේ. එනම් යම් ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කොට අවසන් වූවත්, බිට්ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයා එකෙන් ඉවත් නොවී තව දුරටත් එය ක්‍රියාත්මකව තැබුවහොත්, ඊළඟ ඩවුන්ලෝඩ් කිරීම වේගවත් වීමේ ගුණාංගයයි. මෙසේ ඩවුන්ලෝඩ් කිරීම අවසන්වූ ෆයිල්ස් සමග ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයා එක ක්‍රියාත්මකව තැබූ විට අපට කිසි අමතර වියදමක් යන්නේ නැත. එහෙත් ඒ වෙලාවට අපගේ පරිගණකය සීඩ් එකක් බවට පත් වී වෙනත් අයට මේ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගැනීමට පහසුකම් සපයයි. අප මෙසේ ත්‍යාගශීලීව සිටීම ඉබේම සටහන් වීමේ ගුණාංගය බිට්ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයාස් සතුය. ඒ ත්‍යාගශීලී කම අනුව අපගේ පරිගණකය (අයිපී ඇඩ්‍රස් එක ) ශ්‍රේණිගත (rank) කෙරේ. මෙම ශ්‍රේණිගත කිරීමට අනුව අප්ලෝඩ් කිරීම සහ ඩවුන්ලෝඩ් කිරීම අතර අනුපාතය (upload:download) 1:0 වූයේ නම් ඉතා හොඳය. එවිට ඊළඟ ඩවුන්ලෝඩ් වීම ඉතා වේගයෙන් ඉටු කර දෙයි. මන්ද අපගේ ත්‍යාගශීලීත්වය ඉහළ නිසාය. එනම් මෙහිදී ක්‍රියාත්මක දෙන තරමට ලැබෙන (tit-for-tat) සම්ප්‍රදායයි.

සම්ප්‍රදායික ඩවුන්ලෝඩ් කිරීමේ ක්‍රමය නැවත සිහියට නගන්න. එහෙදී වඩාත් ජනප්‍රිය, වැඩි දෙනෙක් ඉල්ලා සිටින ෆයිල්ස් ඩවුන්ලෝඩ් වෙන්නේ සෙමින්ය. එහෙත් බිට්ටොරන්ට් ක්‍රමයේදී එය කණපිට ගැසී තිබේ. එනම් වඩා ජනප්‍රිය ෆයිල් එකක් වේනම් එය ඉක්මනින් ඩවුන්ලෝඩ් වේ. මන්ද එම ෆයිල් එක ජනප්‍රිය නිසා සීඩ්ස් මෙන්ම ස්වාම් ද වැඩිපුර තිබෙන බැවිනි. එසේම ට්‍රැකර් පරිගණකයද එම ෆයිල් එක දැනටමත් හොඳින් හසුරුවමින් සිටී. ඉඳින් ඉල්ලා සිටි තැනකට එය ඉක්මනින්ම දීම පහසුය. මේ සුගුණ නිසාම ෆයිල් ඩවුන්ලෝඩ් කරන්නෝ බිට්ටොරන්ට් වෙතම ඇදී එති. අද ඉන්ටනෙට් හි තිබෙන තදබදයෙන් (web traffic) සියයට හැටක්ම (60%) නිර්මාණය වී ඇත්තේ ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීම් වලට යාම නිසාය. 

ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීම් ගැන නිතර අසන ප්‍රශ්න කීපයක් ගැන මෙතැනදීම සලකා බැලීම හොඳය.
 


ටොරන්ට් ෆයිල්ස් සමග වයිරස් පැතිරෙන්නට බැරිද යන්න වැඩි දෙනාට මතුවන ප්‍රශ්නයකි. යම් කෙනෙක් විසින් තනා ඉන්ටනෙට් වෙත එක්කළ ටොරන්ට් ෆයිල් එකක් හරහා ඩවුන්ලෝඩ් කරන අතරවාරයේ කිසි තැනකදී එයට අළුතින් වයිරස් එක් වෙන්නට කිසිම ඉඩක් නැත. එනම් ටොරන්ට් ෆයිල් යනු වයිරස් පැතිරෙන මාධ්‍යයක් නොවේ. එහෙත් ටොරන්ට් ෆයිල් එක බවට පත් කළ මුල් ෆයිල් එකෙහි වයිරස් තිබුණොත්, එය නම් දැන් ෆයිල් එක විවෘත කරන පරිගණකයේ පැළපදියම් වේ. මේ කරදරයෙන් මිදෙන්නටද පහසු මගක් තිබේ. ටොරන්ට් ෆයිල් එක විවෘත කරන්නට කලින් එය වයිරස්ගාඩ් මෘදුකාංගයකින් ස්කෑන් කිරීම ඒ උපක්‍රමයයි. එහි වයිරස් තිබුනේනම් එවිට හසුවේ. බිට්ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයා එකක් ඇති විට ඕනෑම චිත්‍රපටයක්, ගීත ඇල්බමයක්, රූපවාහිනී වැඩසටහනක් හෝ මෙහෙයුම් පද්ධතියක් වැනි සම්පූර්ණ මෘදුකාංගයක්ම හෝ ඩවුන්ලෝඩ් කරගත හැකිදැයි සමහරු කල්පනා කරයි. එයට දිය හැකි සරලම උත්තරයනම් හැම දෙයක්ම බැරිය යන්නයි. පුළුවන් වෙන්නේ දැනට ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයකින් සපයන ටූල්ස් ඔස්සේ ටොරන්ට් ෆයිල්ස් බවට හරවා ඉන්ටනෙට් වෙත මුදාහැර ඇති ෆයිල්ස් පමණක් ඩවුන්ලෝඩ් කරගන්නටය. ඒවා මොනවාදැයි ටොරන්ට් සර්ච් එන්ජිමකින් සොයා බලන්නට පුළුවන. එහෙත් මෙතැනදී කිව යුතු විශේෂ දෙයක් තිබේ. එනම් තමන් සොයන ඕනෑම මාතෘකාවකට වාගේ ගැළපෙන ටොරන්ට් ෆයිල්ස් දැන් අන්තර්ජාලයේ තිබෙන බවය. ටොරන්ට් සර්ච් එන්ජිමකින් සෙවුමක් දමන්න. මේ කියමන සැබෑවක් බව පෙනේවි. ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීම නීත්‍යානුකූලද කියා ප්‍රශ්න කරන අය සිටිති. කෙළින්ම කිව යුත්තේ බිට්ටොරන්ට් ක්ලයන්ට් සොෆ්ට්වෙයා පාවිච්චි කිරීම නීතිවිරෝධී නැති බවයි. එහෙත් ඒ හරහා ඩවුන්ලෝඩ් කරන දේ නීතිවිරෝධීද නැද්ද යන්න තේරුම් – බේරුම් කරගත යුත්තේ ඩවුන්ලෝඩ් කරන්නා විසිනි.


Responses

0 Respones to "Bit torrent ප්‍රොටෝකෝලය || About Bit torrent ( Part 2 )"

Post a Comment

Recent Comments

free counters

Popular Posts

Return to top of page Copyright © 2011 | Platinum Theme Converted into Blogger Template by Hack Tutors